අද රටේ ක්‍රියාත්මක වන රනිල් රාජපක්ෂ රට වනසන හවුල් ආණ්ඩුව මේ රටේ ගොවි ජනතාව විපතට පත්කර ඇති අවස්ථාවක සමගි ජන බලවේගය ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් දියත් කර එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොවියා රජකරවන යුගයක් බිහි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉරිදා (11) පොල්පිතිගම මහජන ක්‍රීඩාංගනයේ පැවැති වන්නි හත්පත්තු ගොවි සමුළුව අමතමිනි.
රටට නිවැරදි ඉඩම් පරිහරණ සැලසුමක් නොමැති වීම නිසා අප රටේ සංවර්ධන රටාව තිරසර වෙනවා වෙනුවට අවිධිමත්ව ක්‍රියාත්මක වන බැවින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සහ රට සැලැසුමක් අනුව ඉදිරියට යාමට ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් ඇති කර ගොවි බිම, සංවර්ධිත බිම්, ජනපද භූමි, වනසත්ව භූමි ආදිය තීරණය කළ යුතු බවත් එවැනි දෙයක් ස්ථාපිත කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ වී වගාවේ වැඩිම ඵලදායිතාවක් ඇති දිස්ත්‍රික්කය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගාබිම් අක්කර 5000ක් ගුවන්තොටුපොළ වෙනුවෙන් ද අක්කර 45ක් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වෙනුවෙන් සහ තවත් ගොඩබිම් වරායක් වෙනුවෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් වෙන් කිරීම නිසා අලි මිනිස් ගැටුම සහ ජල හිඟය ඇති වූ බවත් අවිදිමිත් රාජ්‍ය තීන්දු ප්‍රතිපත්ති නිසා රටේ අනෙකුත් දිස්ත්‍රික්කවලද මේ ගැටලුව මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතන හරහා යාවත්කාලින කරපු කෘෂි තොරතුරු පද්ධතියක් නිර්මාණය කරන බවත් ඒ තුළින් ගොවි ජනතාවට වඩාත් සුදුසු භෝගය ආදිය සම්බන්ධ තීරණය කළ හැකි බවත් ඒ තුළින් කාලගුණ තොරතුරු මෙන්ම අනෙකුත් තොරතුරු ලබා ගත හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ගොවියාගේ දූදරුවන් සුහුරු දරුවන් බවට පත් කර ගොවියන් සුහුරු ගොවියන් බවට පත් කිරීමේ නූතන කෘෂිකර්මාන්ත විප්ලවය දියත් කරන බවයි.
එමෙන් ම රජය පොහොර ඇතුලු අනෙකුත් කෘෂි යෙදවුම්වලට ගසා ඇති 18%ක වැට් බදු ඉවත් කරන බවත් සහල් ආනයනය සදහා තිබූ රුපියල් 65ක විදේශ වෙළෙද බද්ද අස්වැන්න නෙලන සමයේ එය රුපියල දක්වා රජය අඩුකර ඇති බවත් ඒ තුළින් වී ගොවියාගේ නිෂ්පාදනයට ස්ථාවර මිලක් නොමැති බවත් රනිල් රාජපක්ෂ රජය ලක්ෂ 18ක් ගොවි පවුල් අමතක කර කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මෝල් හිමියන් කිහිප දෙනකු මෝල් මාෆියාවක් ක්‍රියාත්මක කර ගොවි ජනතාව සහ පාරිභෝගිකයන් විනාශ කරන බැවින් හර්ෂ ද සිල්වා මැතිතුමාගේ ශක්ති වැඩසටහනෙන් කුඩා හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් ශක්තිය ලැබුවා සේ ඒ ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කර කුඩා හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් ශක්තිමත් කිරීම තුළින් සුදු අලියකු බවට පත්ව ඇති වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කර පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය එකට එකතු වී තරගකාරි වෙලෙදපොලක් නිර්මානය කර වී ගොවියා රැකගන්නා බව ද විපක්ෂ නායකවරයා පැවසීය. අප රටේ බීජ සුරක්ෂිතභාවය තහවුරු වන වැඩසටහනකට යොමු වී මේ සදහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු වී බීජ නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරන බවත් එය ජාතික ආරක්ෂාවට පවා වැදගත් වන බවත් ආනයන මත පදනම් වුවහොත් අනාරක්ෂිතභාවයක් ඇති වන නිසා බීජ හා රෝපණ ද්‍රව්‍ය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බවත් ඒ සදහා රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපෘතිවලට ප්‍රවේශ වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.